19 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි 

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදු කළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට විරුද්ධව ගොනු කළ පැමිණිල්ලක් ජනවාරි මස 20වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

 

02. පොලිස් නිලධාරීන්ට රුපියල් 7000ක දීමනාවක්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. 

ඒ පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එම දීමනාව එළඹෙන මාසයේ සිටිම ලබාදෙන බවයි. 

මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබාදීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 




03. ඇමරිකාව සහ සෞදි අරාබිය අතර නව ගිවිසුමක්

ඇමරිකාව සහ සෞදි අරාබිය සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව බවයි. 

ඇමරිකාවේ සංචාරයක නිරත වන මොහොමඩ් බින් සල්මාන් කුමරු අද (18) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් තබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 




04. පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 




05. ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබෙනවා. 



06. ත්‍රිකුණාමල විහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

ඒ අද (18) පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.



(colombotimes.lk)