19 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතළ රිය අනතුරක් සිදු කිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙක්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. 

මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම අධිකරණයට දැනුම්දී තිබෙනවා. 



02. ධීවරයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

2025 දෙසැම්බර් 21වනදා සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා. 

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
 
මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමඟ නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මිය ගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට හිමිවනවා. 




03. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්


විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මෙම කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර තිබෙනවා. 

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන්, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එළඹෙන ජනවාරි මස 20වනදාට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.



04. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයි


බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ උඩරට මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන්.