24 May 2026

logo

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක්



නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (25) මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)