තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ හෙට (14) පෙරවරු 09.00 වන තෙක් වලංගු වන පරිදියි.
ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙස
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 55- 65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බවයි.
එමෙන්ම ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි වන බවද එම නිවේදනයේ සඳහන්.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි සඳහන් වන්නේ.