03 February 2025


සමනළ වැව ජලාශයේ ජල කාන්දුව වසා දැමීමට කටයුතු



සමනළ වැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් සඳහන් කළා.

ඒ අනුව ජලාශයේ ස්ථාන හතකින් ජලය කාන්දු වන බවයි වාර්තා වන්නේ.

කාන්දුව වසා දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජගත් ගුණතිලක මහතා කටයුතු කර තිබුණා.

මෙම ජලාශයේ ප්‍රධාන ජල කාන්දුව ඇත්තේ දකුණු ඉවුරේ බවත්, ජලාශයේ ජල මට්ටම මීටර් 10ක් පමණ පහත් කර මාසයක් තුළදී උමග තුළින් එන ජල කාන්දුව සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවත් කථිකාචාර්යා සඳහන් කළා.

ජලාශය විවෘත කර මේ වනවිට වසර 30ක් ගතව තිබෙන බවත්, මෙතරම් ජල ප්‍රමාණයක් ජලාශයෙන් අඩු වූ මුල්ම අවස්ථාව මෙය බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම අදාල ජල කාන්දු වසා දැමීමට අවශ්‍ය පස් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්. 
(Colombotimes.lk)