බේරේ වැව ජලතර ගුවන්තොටුපළක් ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන්ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද (03) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
මෙය ආරම්භ කර ඇත්තේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන්ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ - කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සංචාරකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසු ආකාරයට කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙමඟින් උදාවනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපළේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)