04 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. වරායේ මෙහෙයුම් ලාභය ඉහළට


මෙම වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ එම කාලය තුළ වරාය මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 24, 418ක් ලෙස වාර්තා වූ බවයි.

එය පසුගිය වසරට සාපෙක්ෂව 66%ක වර්ධනයක් ලෙස සටහන් වී තිබෙනවා.



02. වසර 10කට පසු සිදුවන සංගණනයක් ගැන දැනුම්දීමක් 

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි. 

වසර 10කට පමණ පසු මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනය පවත්වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළා. 

මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ  ප්‍රධාන අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායකවීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදු කිරීමට නියමිතයි. 



03. බෝට්ටුවක් පෙරළෙයි - සංක්‍රමණිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට


යේමනයේ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පුද්ගලයන් 150දෙනෙක් පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝට්ටුව ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 65කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි. 

මෙම පිරිසෙන් පුද්ගලයන් 10දෙනෙක්ගේ පමණ දිවි බේරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අනෙක් පිරිස තවමත් අතුරුදහන් වී ඇති බවයි. 

එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03) මෙම අනතුර සිදුවී තිබෙනවා. 

අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයන් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන බවයි වාර්තා වන්නේ .

එමෙන්ම IOM සංවිධානය විසින් මේ පිළිබඳව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම මුහුදු කලාපයේ තිබූ නැව් සුන්බුන්වලට අනුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළදී සිය ගණනක් මෙලෙස මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවයි. 




04. ගම්පහ - කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතියි


ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. 

ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ බවයි.



05. කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්


කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද (04) ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 




06. යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවට නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. 

ඒ මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදීයි. 

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න අද රාජකාරී නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කර තිබෙනවා. 




07. වසර 600කට පසු ගිනි කන්දක් සක්‍රීය වෙයි

වසර 600කට පසු ගිනි කන්දක් සක්‍රීය වෙයි

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ (03) සක්‍රීය වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුව මෙලෙස සක්‍රීය වී ඇති බවයි.
 
එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබෙනවා. 



(colombotimes.lk)