පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරිහැර මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අද (07) සිට දිවයින පුරා විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ, කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව දිනපතා පොලිසියට ලැබෙන පැමිණිලි හේතුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, මහජන ගමනාගමනය ඉහළ මට්ටමක පවතින කාර්ය බහුල වේලාවන්හිදී, පෙරවරු 08.00 - 10.00 සහ පස්වරු 05.00 - 7.00 දක්වා මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
මෙම කාලය තුළ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් බස් රථවල, බස් ඩිපෝවල, දුම්රිය ස්ථානවල සහ විශාල ජනකායක් සිටින ප්‍රදේශවල සේවයේ යෙදවීමට නියමිතයි.
සිවිල් ඇඳුමින් සැරසී සිටින නිලධාරීන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද බොහෝ දුරට ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි මාර්ගවල ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)
