රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙක් ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් කුච්චවේලි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා සක්කරු විසින් මුදල් වංචා කරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලිවලට පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව හා අවිස්සාවේල්ල අධිකරණවල නඩු පවතින අතර ඔහුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවට මුලික විමර්ශවලදී අනාවරණය වූ බවයි.
(colombotimes.lk)
