විදුහල්පතිවරුන්ට දිය යුතු නිදහස ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්



පාසල් පරිපාලනය වෙනුවෙන් විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ සඳහා පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසි සේත් අනුමත නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි අතර ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියා.

නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)