27 November 2025

logo

අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා මරණ ගැන අනාවරණයක්



රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදු වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස 17වනදා සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17ක් ආපදාවට ලක්වී ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්වී තිබෙන බවයි. 

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයන් 4,008ක් ආපදාවට ලක්වී තිබෙන අතර තවමත් පුද්ගලයන් 14දෙනෙක් අතුරුදන්වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

මේ අතර සිදු වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 10දෙනෙක් මේ වන විට තුවාල ලබා ඇති අතර පවුල් 41කට අයත් පුද්ගලයන් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ පවුල් 136කට අයත් පුද්ගලයන් 472දෙනෙක් මේ වන විට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවයි. 

ආපදා හේතුවෙන් ඌව පළාතෙන් පුද්ගල මරණ 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණු පළාතෙන් සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එක බැගින් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)