01 December 2025

logo

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්



දිවයිනට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. 

විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ. 

සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත සඳහා යොමු කරන බවත් එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හී ජීවත්වන ශ්‍රී ලාංකික ජාතිකයන්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධවීමටත් මෙම ඒකකය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස ක්‍රියා කරන බවයි. 

(colombotimes.lk)