07 July 2025

logo

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි



නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) පස්වරු 11.30 පමණ ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟා වන බවයි.

ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙමඟින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

(colombotimes.lk)