14 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධවේදීන් සංකේත වැඩවර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ අද (13) පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් තිලකරත්න සඳහන් කළේ අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම්දී තිබෙනවා.

ඔහු සඳහන් කළේ නමුත් බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.


02. රෝබෝවරයෙක්ගෙන් පාලනය වන ලොව පළමු වෙළඳසැල විවෘත වෙයි

මානවරූපි රොබෝවරයෙක්ගෙන් පාලනය වන ලොව පළමු සිල්ලර වෙළෙඳසැල චීනයේ බෙයිජිං අගනුවරදී විවෘත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ග මීටර් 9ක ප්‍රමාණයක ඉදිකළ මෙම වෙළෙදසැල පාලනය කරන්නේ ''ගැල්බොට්'' නම් මානවරූපි රෝබෝ හරහා බවයි.

මෙම වෙළෙඳසැල හරහා බීම වර්ග අලෙවි කරන අතර මෙම රොබෝට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව ද පවතිනවා.


03. වසර 34කට පසු කොදෙව්වන්ට ඓතිහාසික ජයක්

පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව වසර 34කට පසු එක්දින තරගාවලියක් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13) සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ලකුණු 202කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස් කළා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි.


04. ට්‍රම්ප්ගේ ඉල්ලීමක් යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි

සාම ගිවිසුමකට පෙර රුසියාව සහ යුක්‍රේන අල්ලා ගත් භූමි නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව යුක්‍රේන ජනපති Volodymyr Zelenskyy ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇලස්කාවේදී රුසියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර හමුව පැවැත්වීමට දින 02කට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළ බවයි.

සටන් විරාමයක් සඳහා ඩොන් බාස් කලාපය අත්හැරීමේ රුසියානු යෝජනාව යුක්‍රේන විසින් ප්‍රතික්ෂේප කරන බව එහිදී ජනාධිපති Volodymyr Zelenskyy පවසා තිබෙනවා.


05. බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 19වනදා දක්වායි.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් මෙම නියෝගයක් නිකුත් කර තිබෙනවා.


06. නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබෙනවා.

ඒ අනුව නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලීසියේ 37වන පොලිස්පතිවරයායි.


07. හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අගෝස්තු 27වනදා දක්වායි.

ඔහු අද (13) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)