23 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ජනාධිපති අද ඇමරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා අද රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි. 

ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතව තිබෙනවා. 

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයන් කිහිපදෙනක් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතයි. 

එමෙන්ම ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගී වීමට නියමිතයි. 

 

02. උද්ධමනයේ දැනෙන වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසයි.

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජූලි මාසයේදී -0.6%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 0.4%ක් දක්වා වැඩි වී ඇති බවයි.


03. දවසකදී දකුණෙන් ඇල්ලූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි කරයි


තංගල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බවයි. 

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු 02ක් අද (22) උදෑසන හමුවූ අතර ඒ ආසන්නයේ නවතා තිබියදී මෙම ලොරි රථය හමු වූ බවයි.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සඳහන් කළා.

එමෙන්ම අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 



04. දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් දැනුම්දෙන්න දුරකථන අංකයක්

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම්දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එම තොරතුරු 071-8591992 යන අංකයට දැනුම්දිය හැකි බවයි. 



05. මහජන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. 

ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවයි. 




06. ශෂීන්ද්‍ර රාජපක්ෂට ලැබුණු අලුත්ම තීන්දුව


රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රක්ෂිත බන්ධාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළා.

ඒ ලබන 30වනදා දක්වයි.





07. විදුලිබල නව සමාගම් 04ට නව සේවකයන් සම්බන්ධ කරගැනීම ඇරඹෙයි

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටවූ පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයන් සම්බන්ධ කිරීම ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. 

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් කොටසක් එලෙස පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අද (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල හට ලබාදී තිබෙනවා. 

2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතට අනුව පිහිට වූ පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත  ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් 04කට එම සේවක පිරිස් සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා.
 
බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ රටේ සංවර්ධන ඉලක්ක හා සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ක්‍රියාත්මක ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාදයට ලක්වෙමින් තිබෙන බවයි.



(colombotimes.lk)