26 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. භික්ෂූන් වහන්සේලා 07නමක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙක් විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා. 

අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13 නමක් සිට තිබෙනවා. 

බරපතළ තුවාල ලැබූ හිමිවරුන් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

 

02. එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැර හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම වූ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලා ලබන ජනවාරි මස 26වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කර තිබෙනවා. 

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



03. මනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (26) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.

ඒ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි. 

ඔහුට හෙට (26) උදෑසන 9.30ට අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට ලිපියක් මඟින් දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙරට ශ්‍රමිකයන් ඊ්ශ්‍රායල් රාජ්‍යයට යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ඔහු මෙලෙස කැඳවා තිබෙනවා. 



04. සැප්තැම්බර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්



සැප්තැම්බර් මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට (26) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් 3,014,260,000.00ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.



05. තලාවේ රිය අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා. 


ඒ තලාව, මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් මියගිය ගණන 04ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම වෑන් රථය පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් වෑන් රථයක් බවයි. 



06. ගාසා තීරයේ 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට


ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

එලෙස මියගිය පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 20දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි. 




07. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරය අමතමින් ජනපති කළ ප්‍රකාශයන්



යුද්ධයේ වේදනාව ඇස් දෙකෙන් දැක තිබෙන බවත් ගාසා තීරයේ බිහිසුණු ව්‍යසනය පිළිබඳ අපගේ දැඩි කණස්සල්ල පළ කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින්.  

එමෙන්ම අද ලෝකය පුරා මුහුණදෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීම බවත් එය ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දූෂණයට එරෙහි සටන භයානක නමුත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බවයි.  

එමෙන්ම ආයුධ මඟින් ප්‍රශ්න විසඳ ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අප අවතීර්ණ විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මගේ රටේ ජනතාවට සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කරදීම මගේ ඒකායන සිහිනය බවයි. 



(colombotimes.lk)