22 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා දැමීම ගැන විශේෂ දැනුම්දීමක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වා වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් ප්‍රකාශ කළා. 

ඒ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගැනුණා.
 
දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ එම අනතුර සිදු වූ මාර්ගය තවදුරටත් විවෘත කළ නොහැකි වී ඇත්තේ නායයෑම සිදු වූ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර තිබීම හේතුවෙන් එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවයි. 

 


02. කඩුගන්නාවේ නායයෑමෙන් දිවි අහිමි වූ පිරිස ඉහළට


පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක්ගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව සිව්දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

එම අනතුර සිදුවන අවස්ථාවවේ වෙළඳසැලේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 10කට ආසන්න පිරිසක් එහි සිට තිබෙනවා. 

සුන්බුන් අතර සිරවී සිටින සෙසු පිරිස් මුදා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 




03. දිස්ත්‍රික්ක 10ක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙන බවයි. 



04. රෝග වැළඳී ඇති පොල් ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහළට


විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
 
පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ මීට පෙර ඒ සඳහා රුපියල් තුන් දහසකට ආසන්න මුදලක් ලබාදුන් බවයි.  

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයෙන් කොළ මැලවීමේ රෝගය වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළා. 

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාක ලබාදෙන බවයි. 



05. වැඩබලන අගවිනිසුරු ලෙස ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න පත් කරයි


වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න පත්කර තිබෙනවා. 

ඒ අනුව ඔහු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (22) සිට එළැඹෙන 27වනදා දක්වා විදේශගතවීම හේතුවෙන් ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා. 


(colombotimes.lk)