27 November 2025

logo

මහජන බැංකුවෙන් ඉතිහාසයේ පළමුවරට වාර්තාගත ලාභයක්



මහජන බැංකුව 2025 වසරේ පළමු මාස නවය අවසානයේදී රුපියල් බිලියන 43.7ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබෙනවා. 

එමෙන්ම එහි දළ ආදායම රුපියල් බිලියන 284.4 ඉක්මවා තිබෙන අතර අදාළ කාලසීමාවේදී මෙතෙක් වාර්තා කළ ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 28.8ක ඉහළම බදු පසු ලාභයක් වාර්තා කර තිබෙන බවයි සඳහන් වන්නේ.
  
මහජන බැංකුව සඳහන් කළේ මුළු වත්කම්, තැන්පතු සහ ශුද්ධ ණය පිළිවෙළින් රුපියල් ට්‍රිලියන 3.6ක්, රුපියල් ට්‍රිලියන 3.2ක් සහ රුපියල් ට්‍රිලියන 1.6ක් ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.
 
එමෙන්ම සියලුම මුදල් සහ රුපියල් ද්‍රවශීලතා ආවරණය 234.2%ක් සහ 287.0%කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.
 
ඒ අනුව සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 16.0%ක් ලෙස සටහන් වී තිබෙන අතර ශක්තිමත් ස්ථර 01 ප්‍රාග්ධන අනුපාතය සටහන් වන්නේ 11.5% ක් ලෙසයි. 

මහජන බැංකුවේ සහ සමූහයේ ප්‍රතිඵල පිළිබඳව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසක් 

'බැංකුවේ තිරසර ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව වඩාත්ම පිළිබිඹු කරන 2025 වසරේ තෙවන කාර්තුවේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. පෙරදි අභියෝගයන්ට ලක් වූ ක්ෂේත්‍රවල ලබා ඇති ස්ථාවරභාවය තුළින් මෙම ප්‍රගතියේ ගැඹුර මනාව නිරූපණය වේ. ශක්තිමත් රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාවර සහ වගකිව යුතු ලාභදායිතාවයක් පවත්වා ගනිමින් රජයේ ආර්ථික වැඩපිළිවළට සහාය වීම මහජන බැංකුවේ අරමුණයි. අඛණ්ඩ සාර්ව ආර්ථික සංකීර්ණතා තිබියදීත්, අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා ඉදිරියට ගෙනයාමට, නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ නවීන මූල්‍ය සේවා පිරිනැමිමට අප අඛණ්ඩව කැපවී සිටිමු.

මූල්‍ය අන්තර්කරණය සඳහා වන අපගේ අවධානය, සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා අපගේ උත්සාහයන් දිගටම මෙහෙයවයි. සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම තුළින් ජාතියේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වීම අපගේ අරමුණයි. දිගුකාලීන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ සෑම මට්ටමකින්ම සහයෝගිතාවයන් ශක්තිමත් කිරීමෙන්, සියලුදෙනාගේ අනාගතය යහපත් කිරීම අපගේ අරමුණයි.'

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා දැක්වූයේ මෙවන් අදහසක් 

'අපගේ තුන්වන කාර්තුවේ ප්‍රතිඵල, අපගේ ආයතනයේ ඉතිහාසයේ ඉහළම කාර්ය සාධනය වීම පිළිබඳ සතුටට කරුණකි. එය අපගේ අරමුණුවල ශක්තිය සහ අප කණ්ඩායමේ කැපවීම පිළිබිඹු කරයි. බැංකුව ශක්තිමත් ව්‍යාපාර ආකෘති පරිවර්තනයකට බඳුන් වෙමින් සිටියදී සහ රාජ්‍ය අංශයේ මූල්‍යකරණය කෙරෙහි දිගුකාලීන අවධානයකින් සිට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමඟ තරඟකාරිත්වයට පිවිස සිටිමේදි මෙම ප්‍රතිඵලය වාර්තා කිරීම වැදගත් කරුණකි. මෙහෙයුම් විශිෂ්ටත්වය, ගනුදෙනුකාර කේන්ද්‍රීය පරිවර්තනය සහ උපායමාර්ගික ඩිජිටල් ආයෝජන මඟින් අපගේ පදනම ශක්තිමත්ව ඇති අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපට හැකිවි ඇත.



(colombotimes.lk)