16 December 2025

logo

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු



ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. 

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන්, මාර්ග අවහිර වීම නිසා හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි.

එම විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු වනවා. 

(colombotimes.lk)