03 January 2026

logo

ජනපති ඝාතනයට ස්නයිපර් එකක් ඉල්ලා Facebook Post එකක් පලකළ පුද්ගලයා රිමාන්ඩ්



ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිපර් අවියක් ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් දැමීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයකු මේ මස 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04) නියෝග කළා. 

මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි පාන් අලෙවි කිරීමේ ජංගම රථ රියැදුරකු වන (චූන් පාන්) උදිත මධුභාෂණ නැමැත්තායි. 
 
සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ රාජ්‍ය විරෝධී වැරදි යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පොලිස්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය පැවැත්වූ බවත් කරන ලද ජාලගත විමර්ශනයට අනුව අනුරාධපුර ප්‍රදේශයේ දී සැකකරු 03දා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා. 
 
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ සැකකරු අවුරුදු 19ක පසුවන අයෙක් බවත් මේ වරදේ බරපතළකම නොදැන ඔහු මෙය සිදුකර ඇති බවයි. 
 
දුරකතන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූ සැකකරු දුර සිට පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා ස්නයිපර් ගිනි අවිය යොදා ගන්නා බව දැන සිටියත් මේ වරදේ බරපතළකම නොදැන සිටි බවත් පරිගණක හා ජංගම දුරකතන සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති මොහු ඒවා අලුත්වැඩියා කිරීමේ නිරත වන්නෙක් බවත් නීතිඥවරයා පැවසුවා. 
 
උතුරුමැද පළාතේ පැරණිතම පාසල එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ එකසිය පනස් වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන හත් වැනි දින සහභාගිවීමට නියමිත ජනාධිපතිවරයා ඝාතනය සඳහා අවියක් ඉල්ලා සැකකරු මේ පෝස්ටුව සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබුණ බවයි වාර්තා වන්නේ. 
 
අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ උත්සවය අවසන් වීමෙන් පසු ඇපදීම පිළිබඳව සලකා බලන බව සඳහන් කරමින් සැකකරු මේ මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
(colombotimes.lk)