21 January 2026

logo

පුංචි මුහුණට හිනාවක් ගෙනෙමින් 'අකුරට දිරියක්' හරහා ඔබ ලබාදුන් ආදරය දරුවන් අතට



පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක අපේ රටේ ජීවිත සිය ගණනක් අහිමි වුණා, අතුරුදන් වුණා. සියල්ල අහිමි වෙච්ච අපේම මිනිස්සු කිසිම බලාපොරොත්තුවක් නැතුව හිස් බැල්මෙන් අනාගතය දිහා බලන් ඉද්දි අපි රටක් විදියට එකතු වෙලා ඔවුන්ගේ කුස පිරෙව්වා. උණුහුමට රෙදිපිළි දුන්නා. අපි ඔවුන් එක්ක ඉන්නවා කියලා අපි පෙන්නුවා. ආපදාවේ පළමු මෙහෙයුම අපේ එකමුතුකම මනුස්සකම නිසා අපි රටක් විදියට එය ජයග්‍රහණය කළා. 

රට නැවත යථා තත්ත්වයට පත්වීම එතනින් අවසන් නෑ කියලා අපි තේරුන් ගත්තා. අන්න ඒකයි අපි ආරම්භ කළේ 'අකුරට දිරියක්' දිරිය ක්‍රියාන්විතය. ගංවතුර නිසා නායයෑම් නිසා අහිමි වූ පොත්පත් ටික ලබාදීමට වඩා පුළුල් අරමුණක් එක්කයි අපි 'අකුරට දිරියක්' ආරම්භ කළේ. 

අපේ අරමුණ වුණේ 'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට මුහුණ දුන් අපේම දරුවන් හෞතිකව පමණක් නොව මානසිකවද ශක්තිමත් කිරීමයි. ඒ නිසයි අපි ඔබට කිව්වේ ආධාර නෙවෙයි ආදරය අරගෙන 'අකුරට දිරියක්' සමඟ එක්වන්න කියලා. ඒ ආරාධනය ආදරයෙන් පිළිගත් ඔබ නිසා නායයෑම්වලට ලක්වීම හේතුවෙන් මේ මොහොතේ පවා යන්න එන්න හරියට මාර්ග පහසුකම්වත් නැති කළුගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට 2026 වසරටම ඇතිවෙන්න පොත්, පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ සියල්ල ලබාදෙන්න අපිට පුළුවන් වුණා. අපේ අරමුණ එතනින් පමණක් අවසන් වුණේ නෑ.

මේ ක්‍රියාන්විතය දියත්කරන අතරතුරත්, දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමට පෙරත් අපේ කණ්ඩායම සුදුසුකම් ලත් මනෝ උපදේශකවරියකගෙන් විශේෂ උපදේශනයක් ලබාගත්තා. ඒ පුංචි හිත් පෑරෙන්නෙ නැති විදියට ඔවුන්ට යැපුම් මානසිකත්වයක් හිතට නොඑන විදියට ඔබේ ආදරය ඔවුන් අතට පත් කිරීම වෙනුවෙන්. ඒ වගේම මේ ක්‍රියාන්විතය දියත් වුණු ජනවාරි 05වනදා අපි උපදෙස් ලබාගත් මනෝ උපදේශකවරියවම සම්බන්ධ කරගන්න අපි කටයුතු කළා. 

එතුමියගේ මෙහෙයවීමෙන් දරුවන්ට, දෙමාපියන්ට සහ පාසලේ ගුරු මණ්ඩලයට විශේෂ මනෝ උපදේශන සැසි කිහිපයක්ම පැවැත්වීමට අපි කටයුතු කළා. ඒ නිසාම එදා දවස පුරාම හැම මුහුණකම තිබුණේ අනාගතය ගැන අපේක්ෂාවක් සහිත සතුටු සිනහවක් පමණයි. අපේ ආයතන නාමයන් මහා ඉහළින් කියවෙන ලොකු උත්සව වෙනුවට අපි දරුවන්ට චිත්‍ර අඳින්න, නටන්න, සෙල්ලම් කරන්න වේදිකාවම භාර කළා. ඔබේ ආදරයත් එක්ක ඔබ අප අතට පත් කරපු ඒ පරිත්‍යාගයන් ඒ පුංචි දරුවන් අතට පත්වෙද්දී ඔවුන්ට දැනුනේ ආදරයක්ම පමණක් බව ස්ථීරයි. පෙරට වඩා දරුවන්ගේ, දෙමාපියන්ගේ වගේම ගුරු මණ්ඩලයේ මුහුණේ තිබුණු සතුට විශ්වාස ඒකට හොඳම සාධකයයි. 




Colombo Times, Channel One සහ A plus Kids TV අපි හැමෝම එකතුවෙලා ඔබේ සෙනෙහස දරුවන්ගේ අතටම පත්කරා වගේම ඇත්තටම සහනයක්, දිරියක් ලෙස පරිත්‍යාගයක් ලබාදෙන්නෙ කොහොමද කියලත් රටට උගන්නන්න ජනවාරි මස 05වනදා කළුගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ 'අකුරට දිරියක්' ක්‍රියාන්විතය හරහා අපිට හැකිවුණා. 

ඉතිං පුංචි හිත් දශමයකින් වත් පාරන්නෙ නැතුව පුංචි හිතට දිරියක් සතුටක් ගෙනෙමින් ඔබේ සවියෙන් අප සංවිධානය කළ 'අකුරට දිරියක්' නිසා ඒ දරුවන් අද අලුත් පොතක අලුත් පැන්සලකින් අලුත් අකුරක් ලියනවා. 'අකුරට දිරියක්' පුංචි මුහුණට හිනාවක් ගෙනෙන ආදරණීය මෙහෙවරේ සාර්ථකත්වය එයමයි. 







 
ඒ නිසාම අපි හිතනවා ආපදාවේ දෙවන මෙහෙයුම ජයගන්නත් රටට ආදර්ශමත් පණිවිඩයක් ලබා දෙන්නත් 'අකුරට දිරියක්' හරහා හැකිවුණා. මේ ජයග්‍රහණයට දිරිදුන් ඔබ සැමට ස්තූතියි. 
 

(colombotimes.lk)