01 December 2025

logo

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්



සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කළේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම  ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවයි. 

ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර ගුවන්යානා අනතුරු සිදු වීමට ඉඩ ඇති බව ද ගුවන් හමුදාව අවධාරණය කර තිබෙනවා. 

ගුවන්හමුදාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිත, ගුවන්යානා සහ භූමියේ සිටින පුද්ගලයන්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බවයි.
 
මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන ‍මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. 

තවද සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

සාමාන්‍ය දුරකථන - 0112343970 / 0112343971

ක්ෂණික දුරකථන - 115