වනිඳු සහ චමීර ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්



2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කර තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් අවධාරණය කරනවා. 

ක්‍රිකට් තේරීම් කමිටුව 2023 සැප්තැම්බර් 5 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති තේරීම් රැස්වීමකදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඇතුළත් වූ මූලික සංචිතය තෝරා ගත්තා. 
 
ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධවලින් සුවය ලබමින් සිටියදී මෙම තේරීම සිදුකර තිබුණා. 
 
තේරීම් රැස්වීමෙන් අනතුරුව එදිනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අනුමැතිය ඉල්ලා සංචිතය යවනු ලැබුවා. 
 
ඊට ප්‍රතිචාර වශයෙන් වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංක ඇතුළත් කිරීම අනුමත කිරීම සඳහා වෛද්‍ය අවසරය ඉල්ලා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය 2023 සැප්තැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවා තිබෙනවා. 
 
අවසානයේ හසරංග සහ චමීර දෙදෙනාම ආබාධවලින් සුවය ලැබූ පසු තරගාවලියේ කොයි මොහොතක හෝ ක්‍රීඩා කිරීමේ සැලසුමක් ඇතිව ක්‍රිකට් ලෝක කුසලානයට යැවීමට අදහස් කළද, වෛද්‍ය අවසරයකින් තොරව යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම නිසා එය සාර්ථක නොවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
(colombotimes.lk)