09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්



පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා භාර දෙමින් කොළඹ මහාධිකරණ විසින් නඩු විභාගයක් අවසන් වන තෙක් විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා. 

 
ඒ 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන්  දේශපාලන කටයුතු සදහා යොදා ගනිමින් රජයට පාඩු කළ බව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළවයි. 
 
අනතුරුව විත්තිකරුවන් රුපියල් පනස් දහස බැගින් වු මුදල් හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කර සිටියා. 
 
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකීර් යන විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමට නියෝග කළ විනිසුරුවරයා  විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝගයක් නිකුත් කළා. 
 
තවද ඇප කොන්දේසි පනවමින් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9:00 - 12:00 අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයට වාර්තා කරන ලෙසට ද නියෝගයක් නිකුත් කෙරුණා. 
 
විත්තිකරුවන් ට එරෙහි නඩුව විභාගයට ගැනීමට පෙර සැප්තැම්බර් 30 නිදාට පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණයක්  පැවැත්වීමට විනිසුරුවරයා තීරණය කර සිටියා. 
 
අධිකරණය නිකුත් කළ නොතිසි මත අද විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එලෙස නියෝග නිකුත් කෙරුණා. 
 
2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් සතොස ආයතනය හරහා වේතන ලබාදෙමින් රජයට රුපියල් එකොළොස් ලක්ෂ අනූ තුන්දහසකට අධික මුදලක් පාඩු කළ බවට අල්ලස් පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
(colombotimes.lk)