01 December 2022
සිංහල | English

බොලිවුඩ් තරු රැසක් දෙසැම්බරයේ ලංකාවට



විනෝදාස්වාද, සංස්කෘතික හා ක්‍රීඩා අංගයන්ගෙන් සමන්විත දැවැන්ත සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. 

පසුගිය (23) දැ පැවති මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළ අතර මෙහි පළමු සංදර්ශනය දෙසැම්බර් 08 දින යාපනයේ දී පැවැත්වීමට නියමිතයි. 
 
දෙසැම්බර් 09,10 හා 11 තෙදින තුළ කොළඹ දී සංදර්ශන පැවැත්වෙනවා. 
 
TOURNIVAL යනුවෙන් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන නම් කර තිබෙනවා. 
 
මෙම සංදර්ශන පෙළ සඳහා බොලිවුඩ් සිනමා කර්මාන්තය නියෝජනය කරමින් රංගන ශිල්පි සොනු සූඩ්, දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය නියෝජනය කරමින් විජේ සේතුපති, කර්ණාටක සිනමා කර්මාන්තය නියෝජනය කරමින් ප්‍රියංකා උපේන්ද්‍රා සහ සුපිරි ගායිකා ශ්‍රෙයා ගෝෂාල් ඇතුළු ඉන්දීය සිනමා තරු රැසක් එක්වීමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා. 
 
මෙම ඉසව් සඳහා ශ්‍රී ලංකා රජය හෝ සංචාරක අමාත්‍යංශය කිසිදු වියදමක් සිදුනොකරන බවයි මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරියා කියා සිටියේ. 
 
TOURNIVAL සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යාපනයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 
 
මේ වෙනුවෙන් ඉන්දියාවෙන් 10,000ක පමණ පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
(colombotimes.lk)