25 March 2023
සිංහල | English

App පාදක කුලී රථ සේවාවක රියදුරුට තවත් ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් තර්ජන (VIDEO)



විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා ඇප් පාදක කුලී රථ සේවාවක රියදුරුට දේශීය ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල සංචාරක පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ත්‍රිරෝද රථයේ සිටි විදේශීය සංචාරකයන් දෙදෙනකු විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව රියදුරුට අසභ්‍ය වචනයෙන් බැන වදින අයුරු දැකගත හැකි වූ අතර සංචාරකයන් ප්‍රවාහනය නොකරන ලෙසට බියගැන්වීමක් සිදු කරන අයුරු ද එහි දක්නට හැකියි. 
 
මෙම සිද්ධිය ගාල්ලේදී සිදුව ඇති බව වාර්තා වන අතර, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ සංචාරක පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පැමිණිල්ලක් ලැබී නොමැති නමුත් විදේශීය සංචාරකයින් ඊට සම්බන්ධ බැවින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 
 
ප්‍රාදේශීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු පවසන්නේ දේශීය ත්‍රිරෝද රථ මාෆියාව සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපෑ හැකි බවයි. 
 
දේශීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ හැසිරීම අහිතකර විය හැකි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය සංචාරකයින්ට හිරිහැර සිදු විය හැකි බවත්, ඔවුන්ට දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවත් ඇතැමුන් පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)