29 November 2022
සිංහල | English

“ජාතික සභාව” අද පළමු වරට රැස්වෙයි - පක්ෂ කිහිපයක් සහභාගී නොවන බව දන්වයි



පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කෙරුණු “ජාතික සභාව” නමින් හැඳින්වෙන පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පළමු වරට රැස්වීමට නියමිතයි. 

 
අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ දී එම සභාව රැස්වීමට නියමිත අතර එහිදි ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත වනවා. 
  
කෙසේවෙතත් අද පැවැත්වීමට නියමිත ජාතික සභාවට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. 
 
ඒ අද දින වෙනත් ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇති බැවින්, ජාතික සභාවට තමන්ට සහභාගි වීමට නොහැකි බව පවසමින්. 
 
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, උත්තර ලංකා සභාගාය නියෝජනය කරන පක්ෂ හා ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශවය ජාතික සභාවට සහභාගී නොවන බව මීට පෙර දැනුම් දී තිබුණා. 
 
මේ අතර දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද පැවැත්වෙන ජාතික සභාවට සහභාගී වන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළා.
 
රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් ජාතික සභාව පිහිටුවීමේ යෝජනාවට පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. 
 
කථානායකවරයා සභාපතීත්වය දරණ එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට නොවැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත් වනවා. 
(colombotimes.lk)