27 September 2022
සිංහල | English

යළිත් පැය 08 - 10 අතර විදුලිය කැපෙන ලකුණු



නොරොච්චෝලේ බලාගාරය බල ගැන්වීම සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් විදුලි අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබෙනවා. 

 
2022 ඔක්තෝම්බර් 25 වනදා වන විට ගල් අඟුරු නොලැබුණහොත් දෛනික විදුලි කප්පාදුව දිනකට පැය දහයක් දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවන්නේ. 
 
එමෙන්ම අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ද සඳහන් කළා.
 
එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිතව තිබියදී රටේ විදුලි සැපයුමෙන් සියයට 30ක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මත රඳා පවතිනවා. 
 
ජනන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම බලාගාරයෙන් සපුරාලනු ලබනවා. 
 
දැනට බලාගාරයේ ඇති ගල් අඟුරු තොගය ප්‍රමාණවත් වන්නේ 2022 ඔක්තෝබර් 25 දක්වා පමණයි. 
 
ඔක්තෝබර් 25 වැනිදායින් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබා දිය යුතු වනවා. 
 
ගල් අඟුරු සැපයුමට මොකද වුණේ? 
 
ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ගල් අඟුරු සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම්ගත වීමට ලංසු කැඳවා තිබෙනවා. 
 
විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියේදී සමාගම් කිහිපයක් ලංසු ඉදිරිපත් කළ අතර තවත් සමාගමක් ටෙන්ඩර් ක්‍රියාවලියට පිටින් ලංසු ඉදිරිපත් කළා. 
 
ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පරිබාහිරව ඉදිරිපත් කරන ලද ලංසු විවෘත කර ඇගයීමෙන් අනතුරුව විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියේදී ඉදිරිපත් කළ යෝජනා ඇගයීමට ලක් කර තිබුණා. 
 
අවසානයේදී, නියමිත ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ලංසු ඉදිරිපත් කළ සමාගමට දිගුකාලීන සැපයුම පිරිනැමීමට තීරණය කළා. 
 
නමුත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලංසු ඉදිරිපත් කළ සමාගම නැවතත් අඩු මිලට ලංසුවක් ඉදිරිපත් කර තිබුණා. 
 
එම ලංසුකරු ටෙන්ඩරය ලබාදුන් සමාගමටද බලපෑම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. 
 
ටෙන්ඩරය ලබා දුන් සමාගම ගල් අඟුරු සැපයීම සඳහා කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර ඔවුන් එකඟ වූ පරිදි එම කොන්දේසි සපුරාලීමට නොහැකි වී තිබෙනවා. 
 
ගනුදෙනුවට අදාළ කාර්ය සාධන බැඳුම්කරය තැන්පත් කිරීමට සමාගමට ලබාදී තිබූ කාලය ඊයේ (22) දිනයෙන් අවසන් වූ අතර ඔවුන් එම බැඳුම්කරයද තැන්පත් කර නැහැ. 
 
මේ අනුව ගල් අඟුරු සැපයීමේ දිගුකාලීන ටෙන්ඩරය දැන් බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා. 
 
ගැටලුව විසඳා ගැනීමට ක්‍රමයක් නැද්ද? 
 
දැනට ගල් අඟුරු සපයන සමාගමට තවත් නැව්ගත කිරීම් 21ක් සැපයිය යුතුයි. 
 
නමුත් ගෙවීම් ප්‍රමාද වීම නිසා එම තොග සැපයීම දැන් අර්බුදයකට ලක්ව තිබෙනවා. 
 
නමුත් මෙම නැව්ගත කිරීම් 21න් සියයට 50ක් පෙර ගෙවුම් ක්‍රමයක් මත ලබාදීමට සමාගම එකඟ වී ඇති බව ද වාර්තා වුණා. 
 
නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු තොගයක් ඔක්තෝබර් 25 වැනිදාට පෙර ලැබීමට නම් ලබන සඳුදා (26) වන විට යම් මුදලක් ගෙවිය යුතු වනවා. 
 
ගල් අඟුරු නැව් 5ක් සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 95ක් අවශ්‍ය වනවා. 
 
ඒ අනුව සඳුදා වන විට අදාළ සමාගමට මෙම මුදල හෝ ඉන් කොටසක් නොගෙවන්නේ නම් 2022 ඔක්තෝම්බර් 25 වැනිදා සිට රටේ විදුලි සැපයුම අනතුරට පත්වනවා . 
 
එසේ නොවුණහොත් රට යළිත් බරපතළ අර්බුදයකට මුහුණ දෙනු ඇති.
(colombotimes.lk)