29 November 2022
සිංහල | English

සන්නස්ගල ගේ කුළුඳුල් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භය ළඟදීම (VIDEO)



ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමාපටයක් වන තංගමලේ ඩයරීස් (Thangamale Diaries) හි නිල වෙබ් අඩවිය මුදා හැරීම සහ ඒ ගැන ප්‍රේක්ෂකයින්ව දැනුම්වත් කිරීම පසුගියදා සිදුවුණා. 

 
නුදුරේදීම රූගත කිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට ප්‍රසිද්ධ සිංහල දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින්. 
 
මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වීමද විශේෂත්වයක්. 
 
ලංකාවේ තංගමලේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුව කොළඹ අගනගරයට සංක්‍රමණය වන බාසි නම් චරිතය, YouTuber කෙනෙකු වශයෙන් පනස් වසරකට පසුව නැවත සිය උපන්ගමට යෑමත්, ඒ සමඟ ගමෙ හි උද්ගත වන ගැටුම් දාමයත් “තංගමලේ ඩයරීස්” චිත්‍රපටයෙන් දිග හැරෙනවා. 
 
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බාසි දිවයිනේ ප්‍රකට සිවිල් චරිතයක් වන අතර කලා, සාහිත්‍ය, දේශපාලන ආදී ක්ෂේත්‍ර වල නියැළුණු පුද්ගලයෙක්. 
 
ඔහු YouTuber කෙනෙකු වශයෙන් සිය උපන්ගමට යන්නේ එහි සැඟවුණු යටගියාව පිළිබඳව ඔහුට ඇති කුතුහලය සංසිඳවා ගැනීමටයි. සිනමාපටයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ සිය ගම්මානයේ අඳුරු ඉතිහාසය හාරා අවුස්සා ගැනීමටයි. 
 
ඔහු එසේ සිය උපන්ගමට යන 2019 අප්‍රේල් 06 වෙනි දා සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සති දෙකක පමණ කාලය “තංගමලේ ඩයරීස්” සිනමාපටයට පසුබිම් වී තිබෙනවා. 
 
මේ වනවිට තංගමලේ ඩයරීස් හි පූර්ව නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් කර තිබෙන අතර හපුතලේ ප්‍රදේශය ආශ්‍රිතව නලු නිළියන් තෝරා ගැනීම් කිහිපයක් ද පැවැත්වුණා. 
 
සිය තිර පිටපත අවසන් කරගැනීමට වසර තුනකට අධික කාලයක් ගත වූ බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ. 
 
මෙහි රූගත කිරීම් අප්‍රේල් මාසයේදී ඇරඹීමට නියමිතව තිබුණත් රටෙහි පැවති අර්බුදකාරී තත්වය නිසා එම සැලසුම් වෙනස් කරන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදුව තිබෙනවා. 
 
එතැන් සිට මාස කිහිපයක් යනතුරු තාවකාලිකව නතර කළ මෙහි වැඩ කටයුතු නැවත ඇරඹුණේ පසුගිය අගෝස්තු 16 වනදා සිටයි. 
 
නුදුරු දිනකදීම හපුතලේ සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලදී මෙහි රූගත කිරීමට පටන් ගැනීමට නියමිතයි. තංගමලේ ඩයරීස් හි කැමරා අධ්‍යක්ෂකවරයා (Director of Photography) ලෙස කටයුතු කරන්නේ මෙරට සිටින අත්දැකීම් බහුල සිනමාකරුවෙකු වන චන්න දේශප්‍රියයි. 
 
විජයබා කොල්ලය, හෝ ගානා පොකුණ, සිරි රජ සිරි, එකගෙයි සොකරි, ඇල්බොරාදා වැනි සිංහල චිත්‍රපට 30කට අධික ප්‍රමාණයක කැමරාව හැසිරවූ ඔහු වරෙක ජාත්‍යන්තර සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 
 
සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂකවරයා වන අතර සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසින්. චිත්‍රපටය අධ්‍යක්ෂණයට අමතරව ප්‍රධාන නිෂ්පාදක භූමිකාව හොබවන්නේ ද උපුල් ශාන්ත සන්නස්ගලයි. ඒ ඔහුගේ Two17 (pvt) LTD නිෂ්පාදන ආයතනය යටතේයි.
(colombotimes.lk)